සංවිධාන ව්‍යුහය

 සංවිධාන ව්යුහය

            මුදල් මණ්ඩලය

  ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නොවන නිසා එයටම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියළුම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියළු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණඩලය වගකිව යුතු ය.


මහ බැංකු මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් (5) දෙනෙකුගෙන් සමන්විත ය.

·       අධිපති

·       මුදල් අමාත්‍යංශයේ ලේකම් (නිල බලයෙන්)

·       විධායක නො වන සාමාජිකයින් තිදෙනෙකු (3)


          අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය. මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයින් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.


            විගණන කමිටුව

 

    මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලබන සාමාජිකයන් තිදෙනෙකුගෙන් (3) සමන්විත විගණන කමිටුවේ සභාපති වන්නේ විධායක නො වන මුදල් මණඩලයේ සාමාජිකයෙකි. මූල්‍ය කටයුතු පිළිබඳ ව ප්‍රවීනතාවක් ලබා තිබීම අවශ්‍යයෙන් ම විය යුතු අනෙක් සාමාජිකයින් මහ බැංකුවෙන් බැහැරව සිටිනා පුද්ගලයින් දෙදෙනෙකු විය යුතු ය. මහ බැංකුවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය, අභ්‍යන්තර පාලන මාර්ගවල ප්‍රමාණවත්බව සහ කාර්යසාධකත්වය හා අභ්‍යන්තර සහ බාහිර විගණනයේ විෂයපථය හා ප්‍රතිපල පිළිබඳ ව විගණන කමිටුව විසින් මුදල් මණ්ඩලය වෙත සමාලෝචනය කොට උපදෙස් දෙනු ලැබේ. මහ බැංකුව සඳහා අවදානම් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමේ සහ නිරීක්ෂණය කිරීමේ කටයුතුවල දී ද මෙම කමිටුව සහාය වෙයි.


දෙපාර්තමේන්තු

    ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් සුමටව කර ගෙන යෑම සඳහා බැංකුවේ දෙපාර්තමේන්තු ආර්ථික සහ මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය හා රජයේ නියෝජිත සේවා වශයෙන් ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර හතරකට ද මානව සම්පත් සංවර්ධනය සහ කළමනාකරණය, ආයතනික සේවා හා ප්‍රතිපත්ති සමාලෝචනය සහ නිරීක්ෂණය වශයෙන් සහාය සේවා ක්ෂේත්‍ර තුනකට ද වර්ග කර ඇත. දෙපාර්තමේන්තුවක ප්‍රධානියා වන අධ්‍යක්ෂවරයෙකු (හෝ ඒ හා සමාන අයෙකු ) විසින් දෙපාර්තමේන්තුවේ කටයුතු සහකාර අධිපතිවරයෙකු හරහා අධිපතිට හෝ නියෝජ්‍ය අධිපතිට වාර්තා කරනු ලබයි. එහෙත් කළමනාකාරිත්ව විගණන දෙපාර්තමේන්තුව අධිපතිට හා මුදල් මණ්ඩලයට සෘජු ව ම වාර්තා කරයි.

ආර්ථික සහ මිල ස්ථායිතා ක්ෂේත්‍රය භාරව එක් නියෝජ්‍ය අධිපතිවරයෙකු කටයුතු කරන අතර අනෙක් නියෝජ්‍ය අධිපතිවරයා මූල්‍ය පද්ධති ස්ථායිතා ක්ෂේත්‍රය භාරව කටයුතු කරයි. ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය හා නියෝජිත සේවා කාණ්ඩ යටතේ ඇති දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනාගෙන් එක් අයෙකුට වාර්තා කරන අතර සහායක සේවා කාණ්ඩ තුනට අයත් සියළුම දෙපාර්තමේන්තු ඔවුන්ට අදාළ සහකාර අධිපතිවරු හරහා අධිපතිට වාර්තා කරයි.


             පෙර පිටුවට                              පටුනට                                  ඊලග පිටුවට

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හරියට දැනගන්න