නියාමනය සහ අධීක්ෂණය

 නියාමනය සහ අධීක්ෂණය

 

          බැංකු නියාමනය සහ අධීක්ෂණය


බැංකු නියාමනය හා අධීක්ෂණය සඳහා වු නෛතික රාමුව බැංකු පනත, මුදල් නීති පනත හා විනිමය පාලන පනත යනාදියෙහි දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු වර්ග දෙකක්, සඳහා බලපත්‍ර නිකුත් කරයි. ඒවා නම් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත (ඉතිරි කිරීමේ හා සංවර්ධනය) බැංකුය. බලපතුලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු අතර ප්‍රධාන වෙනස නම් මුලින් සඳහන් කල බැංකුවලට මහජනතාවගෙන් ඉල්ලුම් තැන්පතු භාර ගැනීමටත් (ගනුදෙනුකරුවන් වෙනුවෙන් ජංගම ගිණුම් පවත්වාගැනීම) පෘථුල පරාසයක් තුළ විදේශ විනිමය ගනුදෙනු හා අදාල කටයුතුවල නියැලීම සඳහා බලයලත් නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීමටත් අවසර ඇති අතර පසුව සඳහන් කල බැංකුවලට මෙම කටයුතුවල ලියැලීමට අවසර නොමැත.

 

පහත සඳහන් කාර්යයන් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිමය බලය ඇත:


·        බැංකු, බැංකු ශාඛා හා වෙනත් බැංකු සේවා සපයන මධ්‍යස්ථාන පිහිටුවීමට හා වසාදැමීමට අනුමැතිය දීම.

·        නීති යටතේ විචක්ෂණ නියමයන්, හා තීරණයන් හා අණ බැංකුවලට නිකුත් කිරීම.

·        බැංකුවල දුරස්ථ හා එතැන් පරීක්ෂණ සිදුකිරීම, නියාමන ක්‍රියා බලගැන්වීම සහ දුර්වල බැංකු බේරුම් කිරීම.

 

මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා දී ඇති බැංකුවලට අදාල නියාමන හා අධීක්ෂණ කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධික්ෂණ දෙපාර්තමේන්තුව විසින්ය. බැංකු අධීක්ෂණය සඳහා වු බාසල් කමිටු විසින් නිර්දේශිත ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් අනුව අධීක්ෂණ කාර්යයන් ක්‍රියාත්මක කෙරේ. දුරස්ථ අධික්ෂණ ක්‍රමය යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මූල්‍ය තත්ත්වය, බැංකු විසින් සපයනු ලබන කාලීන තොරතුරු අනුව නිරීක්ෂනය කරනු ලැබේ. ණය හා තැන්පතුවල සතිපතා පොලී අනුපාතික, ලබාදෙන තොරාගත් මූල්‍ය තොරතුරු පිළිබඳ මාසික ප්‍රකාශන, වත්කම් හා වගකීම්, ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම්, ආදායම් හා වියදම් පිළිබඳ කාර්තුමය ප්‍රකාශන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය, අක්‍රීය ණය, වර්ගීකරණය කරන ලද අත්තිකාරම් හා බොල් ණය හා අඩමාණ ණය සඳහා ප්‍රතිපාදන, කොටස්වල ආයෝජනය, බැංකු අධ්‍යක්ෂවරුන්ට හා ඔවුන්ගේ කිට්ටු ඥාතීන්ට හා අධ්‍යක්ෂවරුන්ට සැලකිය යුතු හිමිකමක් ඇති ආයතනවලට දී ඇති පහසුකම්, බැංකු කොටස් හිමිකාරත්වය පිළිබඳ අර්ධ වාර්ෂික ප්‍රකාශන සහ වාර්ෂිකව විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන යනාදිය මෙම කාලීන තොරතුරුවලට ඇතුලත් වේ.

 

බැංකු පනතේ හා මුදල් නීති පනතේ ප්‍රකාශිත ප්‍රතිපාදනවලට අනුව සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු අවම වශයෙන් අවුරුදු දෙකකට වරක්වත් ව්‍යවස්ථාපිත පරීක්ෂණයට යටත් වේ. අධික්ෂණ සම්බන්ධ නව පිවිසුමක් ලෙස හඳුන්වා දී තිබෙන එතැන් පරීක්ෂණය, බැංකුවල අවදානම් හඳුනා ගැනීම, ඒවා කළමනාකරණය කිරීම, එම අවදානම් සමනය කිරීම සඳහා ඇති සම්පත්වල ප්‍රමාණාත්මකභාවය තක්සේරු කිරීම යන කරුණු කෙරෙහි මුලික අවධානය යොමු කරයි.


ජාත්‍යන්තරව පිළිගත් කැමල් මොඩලය (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, කළමනාකරණය, ඉපැයීම් හා ද්‍රවශීලතාවය) පදනම් කරගෙන කරනු ලබන පරීක්ෂණය මගින් මෙයට අනුපුරකයක් ලබාදෙයි. මීට අමතරව, ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්, අදාල නීති හා රෙගුලාසි, අභ්‍යන්තර පාලනයන් හා සාංගමික පාලනයෙහි ප්‍රමිතීන් සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාවය තක්සේරු කෙරේ. විචක්ෂණ අවශ්‍යතාවලට අනුකූල නොවන කරුණු සහ මූල්‍ය තත්ත්වයේ හා අභ්‍යන්තර පාලන ක්‍රමවල දුර්වලතාවයන් පිළිබඳ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ඒවා නිවැරදිකිරීම සහ බැංකු විසින් ක්‍රියාමාර්ග ගනු ලබන බවට සහතික කරනු වස්, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට යොමුකරනු ලැබේ. තව ද බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු වාර්ෂිකව හා කාර්තුමය වශයෙන් විගණනය කරන ලද සිය මූල්‍ය ප්‍රකාශනයන් හා ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන්, භාෂා ත්‍රිත්වයෙන්ම අදාල කාලච්ඡේදය අවසන්වී මාස දෙකක් තුල පුවත්පත්වල පළ කිරීම අත්‍යවශ්‍ය වේ.

 

පොදු බැංකු සංසදය - බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් හා මහ බැංකු අධිපතිතුමා මාසිකව රැස්වීම් පවත්වයි. බැංකු කටයුතුවලට සහ මූල්‍ය අංශයට අදාල ගැටළු හා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ සංසදයක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරයි.


මහජනයා දැනුවත් කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු හා මූල්‍ය ක්‍රමය සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ අදහසින්, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මූල්‍ය ආයතන සමග කරන ගනුදෙනුවලදී එම ගනුදෙනුවල ප්‍රතිලාභ හා අවධානම් පිළිබඳ ඇගැයීමටත්, ඒවා පිළිබඳව සුපරික්ෂාවෙන් සිටින ලෙසත් මහජනතාවට උපදෙස්දීමත් සඳහා නිතිපතා පුවත්පත්වල දැන්වීම් පළකරයි.

 

මූල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය.


බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය හා අධීක්ෂණය සඳහා බලතල සපයනුයේ මූල්‍ය ව්‍යාපාර පනතින්ය. බලපත්‍රලාභී මුදල් සමාගම්වල නියාමන හා අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට සහ අනවසර මුදල් ව්‍යාපාර කටයුතු වැලැක්වීම සඳහා 2011.11.09 දින සිට 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත අහෝසිකරමින්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත බලාත්මක කරන ලදී. බලපත්‍රලාභී මුදල් සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අවම විචක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වන්නේ ද යන්න සහතික කිරීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතනඅධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි මුදල් සමාගම් නියාමනය හා අධීක්ෂණය කරනු ලබයි.

මෙම ක්‍රියාදාමයන් ප්‍රධාන වශයෙන් දුරස්ථ පරීක්ෂණ හා එතැන් පරීක්ෂණ මාර්ගයෙන් සිදුකරනු ලබයි. මුදල් සමාගම් පනතෙහි ප්‍රතිපාදනයන් යටතේ සහ එම පනත යටතේ නික්‍රත් කරන ලද විධානයන් අනුව අවම ප්‍රාග්ධන හා ද්‍රවශීල අවශ්‍යතා තැන්පතු, බොල් ණය හා අඩමාන ණය සඳහා ප්‍රතිපාදන, කේවළ ණය සීමාවන්, කොටස් ආයෝජන සීමාවන් ආදිය ආවරණය වේ. විචක්ෂණ අවශ්‍යතාවන්ට අනුකූල නොවන කරුණු සම්බන්ධව සහ මූල්‍ය තත්ත්වයේ හෝ පානයේ ඕනෑම දුර්වලතාවයක් හා අඩුපාඩුකමක් නිවැරදි කිරීම සහතික කරනු වස් එවැනි කරුණු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට යොමුකරයි.

 ශ්‍රී ලංකා මහ බැංකුව නීත්‍යානුකූල අවසරයකින් තොරව මුදල් ව්‍යාපරයන්හී නිරත වන ආයතන සම්බන්ධව ද විමර්ශනය කරයි. නීත්‍යානුකූලව බලය නොලත් මෙම ආයතන මහජනතාවගෙන් තැන්පතු වශයෙන් හෝ ඒ හා සමානව වෙනත් විවිධ නම් යෙදාමින් එනම්, ණය ආයෝජනය, ණය හා ලාභ බෙදා ගැනීම ආදිය යොදා ගනිමින් මහජනතාවගෙන් මුදල් ලබා ගනී. මූල්‍ය ව්‍යාපාර පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් ක්‍රියාත්මකවන එවැනි අනවසර ආයතනවලට විරුද්ධව සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන අතර මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ ද යන්න විමර්ශනය කිරීම සඳහා ඉල්ලා සිටින ලද තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වන ආයතනවලට විරුද්ධව නීතිමය පියවර ගැනීම ද සිදුකෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මූල්‍ය ආයතන පිළිබඳ ‍ෙතාරතුරු සහ බලපත්‍ර ලබා නොගෙන මුදල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන පුද්ගලයන්/ආයතන පිළිබඳ අනතුරු ඇගවීම් සඳහා දැන්වීම්, පෝස්ටර් සහ ප්‍රකාශන මගින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද කරගෙන යයි.

 

●   ප්රාථමික වෙළෙන්ඳන් නියාමනය සහ අධීක්ෂණය.

රජයේ සුරැකුම් පත් සඳහා වන ප්‍රාථමික වෙළෙඳුන් නියාමන හා අධීක්ෂණ ‍රාමුව දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හා ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම් ආඥා පනතෙහි සඳහන් වේ. ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් එනම්, බලය ලත් ප්‍රාථමික වෙළෙඳුන් පත් කිරීම, නීතීන්ට යටත්ව විචක්ෂණ නියමයන් පිළිබඳ උපදෙස් නිකුත් කිරීම, දුරස්ථ හා එතැන් පරීක්ෂාව හා නීතියට පටහැනි වන ප්‍රාථමික වෙළෙඳුන්ගේ පත්කිරීම් තාවකාලිකව තහනම් කිරීම හා අවලංගු කිරීම යන නියාමන විධානයන් ක්‍රියාත්මක කිරීම යනාදී කාර්යයන් නියාමනය හා අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට බලතල දී ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රාථමික වෙළෙඳුන් අධීක්ෂණය සඳහා වගකීම දරයි.

බලයලත් ප්‍රාථමික වෙළෙඳුන් වීමට යෝග්‍ය ආයතන වර්ග දෙකකි. ඒවානම්, බලපතුලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳ සමාගම්ය. කාර්යක්ෂම, ස්ථිර හා සුරක්ෂිත ගනුදෙනු ක්‍රමයක් සුරක්ෂිත කිරීම සඳහාත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ස්ථායීතාවය වැඩිදියුණු කිරීමත් හා ආයෝජකයන් ආරක්ෂ කරනු සඳහාත් ප්‍රාථමික වෙළෙඳුන් අධීක්ෂණය කරනු ලබයි. ප්‍රාථමික වෙළෙඳුන්ට නිකුත්කර ඇති ප්‍රධාන උපදෙස් වන්නේ ප්‍රධාන අවශ්‍යතා, ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, විශේෂ අවධානම් සංචිතය, සුරැකුම්පත්හි විකුණුම් වෙන්කිරීම්, වෙළෙඳපොළ වටිනාකම් ගණනය, ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම්, ඉදිරි අනුපාත ගිවිසුම් හා පොලී අනුපාත හුවමාරුව හා අවධානම් කළමනාකරණය යනාදියයි. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බලය ලත් ප්‍රාථමික වෙළෙඳුන් දුරස්ථ පරීක්ෂාව හා එතැන් පරීක්ෂාව ලෙස අධීක්ෂණය කරනු ලබයි.

ප්‍රාථමික අලෙවිකරුවන් එකිනෙකා මුණගැසී කරනු ලබන සාකච්ඡා හා විධිමත් රැස්වීම් මගින් අවශ්‍ය අවස්ථාවලදී ගතයුතු පියවර ආදිය පිළිබඳව අදහස් හුවමාරු කරගනී. ඊට අමතරව මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රාථමික වෙළෙඳුන්ට මනා පරිචයක් ලබාදෙනු වස් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් නිකුත් කර ඇත.

                පෙර පිටුවට                              පටුනට                                  ඊලග පිටුවට

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හරියට දැනගන්න